Wednesday, January 29, 2020

ලංකාවට ගිහින් මක් කරන්නද?

මමත් නෝනත් දැන් ඇමෙරිකාවෙ ආචාර්ය උපාධි කරන්න ඇවිත් අවුරුදු 6කට වැඩියි. (ඒ අත්දැකීම් ගැන වෙනම සටහන් සිය ගණනක් තියන්න පුළුවන් නිසා ඒක ගැන මේ සටහනේ කතා නොකර ඉන්න හිතුවා..) කොහොමහරි නොවිඳිනා දුක් විඳලා උපාධියෙ වැඩ ඉවර කරල වසර කීපයක් රස්සාවක් කරල ආපහු අපේ රටට යන එක තමා මුල ඉඳලම අපේ ප්ලෑන් එක උනේ. මෙන්න මේ ප්ලෑන් එකම තමා අද සටහනට මූලබීජය සපයන්නෙත්.

අපේ මේ ප්ලෑන් එක ගොඩක් අයට ප්‍රහේලිකාවක්.

"ලංකාවට ගිහින් මක් කරන්නද?"

"අපි නම් මේ ලංකාවෙන් පැනගන්නෙ කොහොමද කියල ඉන්නෙ. මෙයාලට තේරෙන්නෙ නෑ ඇමෙරිකාව වගේ රටකට යන්න පුළුවන් එකේ වටිනාකම"

මේ ප්ලෑන් එක මානුෂිය විදියට තේරුම් ගන්න අය හමු වෙලා තියෙන්න එක අතක ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්. ඉතින් ඒ වගේ උඩුගම් බලා පීනනව වගේ තීරණයක් ගන්න මිනිස්සු පිස්සො කියල තමා සමාජෙ ගොඩක් මිනිස්සු හිතන්නෙ..

ඒත් එහෙමයි කියල අපි තීරණ ගන්න විදිය, අපි ජීවත් වෙන විදිය වෙනස් කරන්න ඕනෙද? හැමෝම එකම ටෙම්ප්ලේට් එකකට ජීවත් වෙන්න ඕනෙද? අපි අපේ ජීවිතේ ගත කරන්නෙ නැතුව වෙන කෙනෙක්ගෙ ජීවිතේ ජීවත් වෙන්න ඕනෙද? අපි කරන හැමදේටම අනිත් අයගෙ අනුමැතිය ඕනෙද?

මේ ඔක්කොම මැද්දෙ අර තාත්තයි, පුතයි, බූරුවයි ඉන්න නසෘදීන්ගෙ කතාවත් මතක් වෙනවා (අහල නැත්තම් මෙන්න ලින්ක් එක ). ඒ කතාවෙ හරය අපි මොනව කරත් ඒකට කතා කියන්න මිනිස්සු ඉන්නවා කියන එක. ඒවට බයෙන් තමන්ගෙ හිතට එකඟ නොවන විදියට ජීවත් වෙලා මොකටද?

මිනිස්සු කියන දේවල් ගණන් නොගෙන ස්වාධීනව ජීවත් වෙන එක අමාරුයි තමා. ඒත් ඒක ජීවිතේ ඉස්සරහට සතුටින් ඉන්න පුරුදු කරගන්න ඕනෙ ගුණාංගයක් කියල තමා අප්පුට හිතෙන්නෙ. අප්පුගෙ නෝනා ඒ අතින් අප්පුට වඩා ඉස්සරහින් ඉන්නව කියල හිතුණම අප්පුට එන්නෙ පුදුම ආඩම්බරයක්...

No comments:

Post a Comment